20151029

දයා රාජපක්ෂගේ 'වෙද හාමුදුරුවෝ' කොටස් වශයෙන්..

භික්ෂුවක පිළිපැදිය යුතු විනය නීති උගසට තබා
මිනිසුන්ට සේවය කිරීමට මුල්තැන දීමෙන්
ජීවිතයේ සමබරතාවය උගසට හිලව් වී
නොයෙක් අතුරු ආන්තරාවන්ට මුහුණ දුන්
සත්පුරුෂයෙකුගේ අනුවේදනීය කතාව....



   දයා රාජපක්ෂයන් රචනා කොට චිත්‍රණය කළ
වෙද හාමුදුරුවෝ 
කොටස් වශයෙන් මෙහි පළවේ.
1

2
 

දයා රාජපක්ෂ

තාත්තගේ පඩිය වගේ  දෙගුණයක්
චිත්‍ර කතා ඇඳලා මං මාසෙකට හෙව්වා







ඔබේ සම්පූර්ණ නම?
බෙන්තර මහකුමාරගේ දොන් දයා රාජපක්ෂ

උපන්නෙ?
1941 දෙසැම්බර් 7

ගම කොහෙද?
මගේ පියාගේ ගම කළුතර. ඒ වුණාට මම උපන්නේ නෝට්න්බ්‍රිජ්වල. විදුලිපුර කියලත් ඒ පැත්තට කියනවා. පියා වැඩ කළේ විදුලිබල දෙපාර්තමේන්තුවේ. වෘත්තියෙන් පරිපාලන නිලධාරියෙක්.

ඒ කාලේ නෝට්න්බ්‍රිජ් පළාත කොයි වගේ ද?
එදා අද කියලා ඒ තරම් දියුණුවක් නැහැ. ඒවා වනගත ප්‍රදේශනේ. එක පැත්තකින් විදුලිබල දෙපාර්තමේන්තුව. අනෙක් පැත්තෙන් වතුකරය. ඒ කියන්නේ මස්කෙළිය පැත්තට යනකොට.
හැබැයි බොහෝම සෞන්දර්යාත්මක පළාතක්.
අපේ ගේ ඉස්සරහ තමයි ‘සප්ත කන්‍යා’ කඳුවැටිය තියෙන්නේ.
කිලෝමීටර් දෙකක් විතර ගියොත් ලක්ෂපාන දියඇල්ලත් පේනවා.

‘සප්ත කන්‍යා’ ගුවන් අනතුර එහෙම සිද්ධ වුණු දවස ඔබට මතක ද?
ඔව්. ඒ දවස්වල මං කොළඹ පදිංචිව හිටියට එදා මං හිටියේ නෝට්න්බ්‍රිජ් ගෙදර. මහ රෑ විශාල සද්දයක් ඇහුණා. අකුණක් ගැහුවා කියලයි හිතුවේ. මීදුම අතරින් විශාල ගින්දරක් මතුවෙනවා දැක්කා. පහුවැනිදා තමයි හරියටම දැනගත්තේ මොකද්ද සිද්ධ වුණේ කියලා. අපි කන්ද මුදුනටම නැඟලා ගිහින් බැලුවා. දැන්නම් හිතා ගන්නවත් බැහැ මම සප්ත කන්‍යා කඳු මුදුනටම නැග්ගා කියලා.

පියාගේ නම මොකද්ද?
බැස්ටියන් රාජපක්ෂ.
මවගේ?
මෙලේනා කල්දේරා

ඔබේ පවුලේ කී දෙනයි ද?
මාත් එක්ක හය දෙනයි.

කොහෙටද ඉස්කෝලේ ගියේ?
මුලින්ම කිරිවන්එළිය රජයේ විද්‍යාලයට. ඒක සිංහල ඉස්කෝලයක්. බාලාංශය වෙනකම් ගියා. ඊළඟට නාවලපිටිය අනුරුද්ධ විදුහලට. ඕල්කට් තුමා පටන් ගත්තු ඉස්කෝලයක්. එහි සිංහල ඉගැන්වූවෙත් ඉංග්‍රිසියෙන්. අන්තිමෙට ගිනිගත්හේන මධ්‍ය විදුහලට ගියා.

මොනව ද මුලින් කරපු රස්සා?
යාළුවෙකුගේ ස්ටුඩියෝ එකක් තිබුණා මං ටි කලක් ඒකේ ඡායාරූප ශිල්පියෙක් විදියට වැඩ කළා. ෂෙඩ් එකක පවා මං වැඩ කරලා තියෙනවා. ඒකේ මිනිස්සු වංචා කරනවා; හොරකම් කරනවා. මං කරන්නේ මාසේ අන්තිමෙට මගේ පඩියෙන් ඒවා ගෙවලා දාන එක.
 
චිත්‍රකතා කෙරෙහි ඇල්මක් ඇතිවුණේ කොහොම ද?
ජී. ඇස්. ප්‍රනාන්දුගේ ‘නීලා’ ලංකාවේ මුල්ම චිත්‍රකතා පොතනේ. මං ඒක කියවලා තියෙනවා. ජී. ඇස්. මාස්ටර්ට මං ගරු කරනවා, ඒත් ඔහුගේ චිත්‍ර ගැන මගෙ ඒ තරම් කැමැත්තක් තිබ්බේ නැහැ. සුසිල් ප්‍රේමරත්න ඒ කාලේ ගායකයෙක් විදියට ප්‍රසිද්ධයි. සින්දු කියන්නෙත් චිත්‍ර අඳින්නෙත් එක්කෙනාමයි කියලා මං දැනගත්තා.
සුසිල් මාස්ටර්ගේ චිත්‍ර මගේ හද බැඳ ගත්තා. ඔහුගේ චිත්‍ර බලාගෙන ඇඳලා මං ඔහුගේ අත්සනත් ඒ විදියටම ගහලා තියෙනවා. ඒ විනෝදෙට කරපු වැඩ. සුසිල් මාස්ටර් ඇඳපු ‘හොර හවුල’, ‘තනිකඩයා’ වගේ කතා හරි ලස්සනයි. දැන් තමයි පේන්නේ ඒවයේ තිබුණු බටහිර චිත්‍රකතා ආභාසය. ඒ කාලේ මං කොමික් පොත් එහෙමත් බලනවා. ඒවයේ තිබුණේ ගොපලු කතා.

පාසලෙන් එහෙම කොහොම ද චිත්‍ර අඳින්න ලැබුණ අනුබලය?
ඔබ එහෙම අහද්දි මට එක්තරා අතීත සිද්ධියක් මතක් වෙනවා. කිරිවන්එළිය සිංහල පාසලේ හිටියා, දයිගල කියලා ගුරු මහත්තයෙක්. ඔහුගේ නහය හරි ලොකුයි. මං ඔහුගේ මුහුණ ඒ විදියට ඇඳලා ගුටිත් කන්න සිද්ධ වුණා. මේ ළඟදි තමයි මම දයිගල කියන ගම දැක්කේ. ඒක දෙහිඕවිටට කිට්ටු ගමක්.
ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයේ ගුණසේකර කියලා හිටපු ගුරුතුමා මං චිත්‍ර අඳිනකොට ඇවිල්ලා. බලන් ඉන්නවා. ඔහු නොදැනුවත්වම මං ඇඳපු චිත්‍ර එකතු කරගෙන තිබුණා. ඔහුට තේරෙන්න ඇති මං කවදහරි ඉදිරියට යයි කියලා. ගුණසේකර සර් පස්සෙ කාලෙක අර චිත්‍ර මට එවලා තිබුණා.

කොහොම ද පත්තරවලට චිත්‍රකතා අඳින්න එක්වුණේ?
ඇත්තටම මගේ චිත්‍රකතා ජීවිතය පටන් ගත්තේ ‘සිළුමිණෙන්'. ඒ 1966 දී. ඒ අනුව ලබන වසර වෙනකොට මගේ කලා දිවියට අවුරුදු පනහයි. ‘ඉන්දු’ කියලා ඇඳපු චිත්‍ර කතාව තමයි මුලින්ම පළවුණේ. මං ඒ කතාව ඇදලා තැපෑලෙන් එව්වේ. ටික දවසකින් මට කොටු රූල් කොළයක ලියපු ලියුමක් ලැබුණා. අත්සන් කරලා තිබුණේ ‘සිළුමිණ’ කර්තෘ එස්. සුබසිංහ මහත්තයා. මට ඉතිං මේක ලොකු දෙයක්. “ඔබේ චිත්‍ර කතාව අහවල් දවසේ පළවෙනවා. තව කතා එවන්න. පුළුවන්නම් ඇවිත් මුණගැහෙන්න” කියලා ලියලා තිබුණා. මං වෙන පත්තරේකට හේත්තු වෙයි කියලා බයක් සමහරවිට ඔහුට තියෙන්න ඇති. ඔය විදියට තමයි පත්තරවලට සම්බන්ධ වුණේ.

මොනව ද ඒ මුල් කාලයේ ඔබ දැකපු චිත්‍රකතා?
‘සිළුමිණ'ට ඇන්දා ‘අනුපමා’, ‘වානරයෝ’, ‘වෙද හාමුදුරුවෝ'. ‘සරසවිය'ට ඇන්දා ‘ලැව්ගිනි දැල්’, ‘හුලවාලි'.

කවුද ඒ කාලේ ලේක්හවුස් එකේ හිටපු චිත්‍ර ශිල්පීන්?
ජී. ඇල්. ගෞතමදාස, තලංගම ජයසිංහ. ඒ අය ස්ථිර සේවකයෝ.

ඇයි ඔබ ස්ථිර නොවුණේ?
මාසික වැටුපට වඩා වැඩි මුදලක් ෆ්‍රී ලාන්ස් කරල හොයන්න පුළුවන්කම තිබුණා. ඒ කාලේ පරිපාලන නිලධාරියකු වෙලත් තාත්තගෙ පඩිය රුපියල් තුන්සිය පනහයි. මම චිත්‍රකතා ඇඳලා ඊට වඩා දෙගුණයක් හෙව්වා. ඒ කියන්නේ රුපියල් හත් අට සීයක් විතර. 1979 අස්වෙන කාලෙත් රුපියල් දාහක් විතර ගත්තා. අනෙක මම හිටියේ දුර බැහැර. ඒකත් ස්ථිර නොවන්නට බලපෑවා.

ඔබ ‘දිනමිණ'ට ඇඳපු ‘ආදර කොමා’ අතිශයින්ම ජනප්‍රිය වුණා?
ඔව්. ඒ කාලේ හැටියට රොබෝ මිනිස්සු අලුත් සංකල්පයක්නේ. මම ‘ටයිම්’ වගේ සඟරා කියවලා තමයි රොබෝවරුන් ගැන, කොම්පියුටර් ගැන දැනගත්තේ. මේ කතාව මොන තරම් ජනප්‍රිය වුණා ද කිවහොත් මට කතාව නවත්වන්න දුන්නේ නැහැ. වැඩිපුර කොටස් එකතු කරලා කතාව තව ටිකක් දිග්කළා. ඒ කාලේ පත්තරවල අලෙවිය කෙරෙහි චිත්‍රකතා හුඟක් බලපෑවා.

ඔබේ චිත්‍රකතා නිර්මාණවලට අත්දැකීම් පදනම් වෙන්නේ කොහොම ද?
මගේ හැම චිත්‍ර කතාවකටම මොකක්හරි අත්දැකීමක් තියෙනවා. උදාහරණයක් විදියට ‘සක්විති සුවය’ ගනිමු. එහි එන බකට් හැරිගේ චරිතය නිර්මාණය වුණේ සුළු අත්දැකීමකින්. ඒ කාලේ ඉතින් අපි හැන්දෑවට කොහෙට හරි සේන්දු වෙනවනේ. ඒ ගිය ගමනකදී මගේ පර්ස් එක නැතිවුණා. මං ගෙදර ආවේ ටැක්සියක. මං දන්නේ නෑ පර්ස් එක නැතිවෙලා කියලා පහුවදා ටැක්සියක් අපේ ගේ ඉස්සරහින් හෝන් ගගහ යනවා. මං ගේට්ටුව ළඟට ගියා. “මහත්තය ද ඊයේ රෑ ටැක්සියකින් ආවේ” කියලා ටැක්සිකාරයා ඇහැව්වා. සල්ලි දීලත් නැතුව ද බස්සෙ කියලා මට හිතුණා. මොකද මට මතක නෑ. මිනිහා මට පර්ස් එක අතට දීලා කිව්වා “මේක දාලා ගිහිල්ලා තිබුණා. කල්පනාවෙන් යන්න එපැයි මහත්තයා” කියලා යන්න ගියා. අද වෙනකම් මං දන්නෙ නැහැ ඒ ටැක්සිකාරයා කවුද කියලා. බකට් හැරී නිර්මාණය වුණේ ඒ චරිතයෙන්.

මං හිතන්නේ චිත්‍රකතාවකදී ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ චිත්‍රවලට වඩා කතාවට?
ඔව්. කතාව ප්‍රධානයි. නමුත් කවදාක්වත් මගේ ළඟ සම්පූර්ණ කතාවක් තිබුණේ නැහැ. අවසානය මෙහෙම වෙයි කියලා හිතලා දවසින් දවස හෝ සතියෙන් සතිය කතාව කන්ටිනිව් කරනවා. කතාව කඩා නොවැටෙන විදියට ආරක්ෂා කරගන්න මං දන්නවා.

ඔබ ශූර දෙබස් රචකයෙක්?
මං හිතන්නේ මුදලිනායක සෝමරත්නගේ දෙබස් රචනා මට බලපෑවා කියලයි. ඔහු ගුවන්විදුලියට ලියපු ‘මුවන්පැලැස්ස’ මං එකල හරිම ආසාවෙන් අහපු නාට්‍යයක්.

ලංකාවේ මුල්ම චිත්‍රකතා පත්තරේ වුණු ‘සතුට’ පටන්ගත්ත කාලේ ඇයි ඔබ ඒකට කතා ඇන්දෙ නැත්තෙ?
මට තමයි මුලින්ම කතා කළේ. ඒත් මං කැමැති වුණේ නැහැ. ඒත් පස්සෙ කාලෙක මට මතක හැටියට ‘සතුට'ට කතාවක්, දෙකක් ඇන්දා. විජය ප්‍රකාශන ආයතනයෙන් ‘සතුට’ පටන් ගනිද්දි නම් දිගටම ඇන්දා. එහි පළමු කලාපයේ කවරෙත් මගේ.

චිත්‍ර කතාවට දේශපාලන තේමා එක්කළේ ඔබ?
කුඩා කාලයේ ඉඳන්ම මට දේශපාලන පසුබිමක් තිබුණා. තාත්තා, සහෝදරයෝ වමේ දේශපාලනය කරපු අය. තාත්තා විදුලිබල දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති සභාපති වෙලත් හිටියා. මමනම් දේශපාලනය හිතාමතා කළේ නැහැ. නොදැනුවත්වමයි ඒ පැත්තට වැටුණේ. දේශපාලනය කළා කිව්වත් අපි කළේ රතු කමිස, නිල් කමිස ඇඳපු එක විතරයි.

ඔබේ චිත්‍ර කතාවල වාර්ගික චරිතත් දක්නට ලැබෙනවා.
ඒ පැත්තේ (නෝට්න්බ්‍රිජ්) වතුකර දෙමළ අය හිටියනේ. ඉතිං ඔවුන් පිළිබඳ අත්දැකීම් තිබුණා. මට දෙමළත් කතා කරන්න පුළුවන්.

ඔබේ චිත්‍රකතා ගණනාවක්ම සිනමාවට නැඟුණනේ. ඒ අතරින් ඔබ වඩාත් කැමැති චිත්‍රපටය වුණේ මොකද්ද?
මම කැමැතියි ‘නිළියකට පෙම් කළෙමි’ චිත්‍රපටයට. එය හොඳ අධ්‍යක්ෂණයවත් නිෂ්පාදනයක්වත් නොවේ. නමුත් ඒ චිත්‍රපටයට මං කැමැතියි.

‘හුලවාලි’ චිත්‍රපටයේ අවසානය එහි ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණි ෆොන්සේකා විසින් වෙනස් කරනු ලැබූ බව එහිම රඟපෑ ටෝනි රණසිංහ මේ ළඟදි මා සමඟ කිව්වා. ඒක ඇත්ත ද?
ඔව්. ඒකට මට ඒ කාලේ කේන්තිත් ගියා. දවසක් ගාමිණි දිසානායක මහත්තයා මගෙන් ඇහැව්වා ‘හුලවාලි’ කතාව ලිව්වෙ දයා ද කියල “ඔව් මං තමයි” කියලා මං උත්තර දුන්නා. “එහෙනම් ගාමිණි කිව්වෙ එයාගේ කතාවක් කියලා” දිසානායක මහත්තයා ඊට පස්සෙ මට කිව්වා.

‘වෙද හාමුදුරුවෝ’ චිත්‍රපටයට මොකද වුණේ?
ඒ චිත්‍රපටය කෙරුණේ නැහැනේ. ආරියරත්න පෙරේරා තමයි නිෂ්පාදක. ගාමිණිගේ වැල්ලවාය ‘සැනසුම’ හෝටලයේ අපි පූර්ව සාකච්ඡා පවා පැවැත්වූවා. එහි හාමුදුරුවන්ගේ චරිතය රඟපෑමට ගාමිණි හිස මුඩු කළ බවත් මට මතකයි. මතභේද වගයක් ඇවිල්ලා ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇනහිටියා.

ඔබ කැමැතිම චිත්‍රකතා ශිල්පියා කවුද?
මගේ මිත්‍රයෙක් නිසා කියනව නෙමෙයි තලංගම ජයසිංහ බොහෝම දක්ෂයෙක්. අද ඉන්න කිසිම නවක ශිල්පියකුට ඔහු වගෙ අඳින්න බැහැ. කොහොම වුණත් මං බන්දුල හරිශ්චන්ද්‍රටත් කැමැතියි. පී. වික්‍රමනායකගේ චිත්‍රත් ඉහළ මට්ටමක තිබුණා.

නව පරපුර අතරින්?
අනුර ශ්‍රිනාත්ගේ චිත්‍ර ලස්සනයි.
අද චිත්‍රකතාවල ආයේ පොඩි ප්‍රබෝධයක් තියෙන බව පේනවා.
අපි චිත්‍රකතා පදනමක් පිහිටුව ගත්තනේ. මම තමයි ඒකට මුල් වුණේ. මේ ප්‍රබෝධය එහි ප්‍රතිඵලයක් විදියට මම දකිනවා.

ඔබේ බිරිය කවුද?
ඛේමා මල්ලිකා මිල්ලෑව. ඒක යෝජිත විවාහයක්.
ඇය මට වඩා අවුරුදු දහයක් විතර බාලයි.

විවාහයට පෙර යම් යම් සම්බන්ධකම් තිබ්බෙ නැද්ද?
තිබ්බා. නැතුව නෙමෙයි. කීපයක්ම තිබ්බා.
දීර්ඝ වශයෙන් ගෙනගිය සම්බන්ධයකුත් තිබුණා.
කුල ප්‍රශ්නයක් මත එය කඩාකප්පල් වුණා.

ඔබේ දරුවන් ගැනත් යමක් කියන්න?
මට දුවලම තුන්දෙනෙක්. වැඩිමහල් දෙන්නා විවාහකයි.
මට මුනුපුරන් තුන්දෙනෙකුත් ඉන්නවා. පුතුන් නැති අඩුව ඔවුන්ගෙන් පිරිමැහෙනවා.

බිරිඳ - දරුවන් ඔබේ චිත්‍රකතා කියවනව ද?
මං හිතන්නෙ නැහැ, කියවනව කියලා. මගේ කලා ජීවිතයට බිරිඳ අතහිත දෙනවා කියලා මට කෙළින්ම කියන්න බැහැ.

දැන් ඔබ රැකියා ස්ථානයේ ස්ථිර සේවකයෙක් ද?
ඔව්. හරිනම් මේක විශ්‍රාමික ජීවිතයක් ගත කළ යුතු කාලේ. ඒත් මං තාමත් චිත්‍ර අඳිනවා. මට හොඳ වැටුපක් ගෙවනවා. සිරි රණසිංහ මහත්තයා මගේ ගමනට අත දුන්නු කෙනෙක්. ඒක ලියන්නම ඕනැ. මම හිතන්නේ ජනක රත්නායකයි මමයි විතරයි පත්‍ර ආයතනයක ස්ථිරවම වැඩ කරන චිත්‍ර කතා ශිල්පීන් වශයෙන් ඉන්නේ.

චිත්‍රකතා අඳිනවට අමතරව ඔබ කවිත් ලියනවා.
සාහිත්‍යයට කොහොමත් අපේ ගෙදර කිසියම් පසුබිමක් තිබුණා. ඉස්සර අපේ ගෙදර නේවාසිකව හිටපු කෙනෙක් තමයි බලගල්ලේ රන්ජිත් සිරිවර්ධන කවියා. ඔහු වැඩ කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. අපි කියන්නේ ‘ඕවර්සියර්’ මහත්තයා කියලා.

ලබන අවුරුද්දට ඔබේ කලා ජීවිතයට අවුරුදු 50 යි.
මං ඉපදුණේ ‘සිළුමිණ’ පත්තරෙන්.
ඒක මම බොහෝම ගෞරවයෙන් කියනවා.

මේ වගෙ අවස්ථාවක ජීවිතේ දිහා හැරිලා බලනකොට මොනව ද හිතෙන්නෙ?
මම ගෙයක් දොරක් හැදුවේ, ළමයි ලොකු ඉස්කෝලවලට දාලා ඉගැන්වූවේ චිත්‍රකතා ඇඳලා. කොටින්ම මං ණය නැති මිනිහෙක් විදියට ජීවත්වන්නේ චිත්‍රකතා ඇඳලා. ඒවා ආසාවෙන් කියවන පාඨකයන්ට මා හිස නමා ආචාර කරනවා.

පාරට බැස්සම මේ ‘දයා රාජපක්ෂ’ කියලා කවුරුත් දන්නව ද?
මගෙ චිත්‍රකතාවල තියෙන අත්සනම තමයි මගේ වෙනත් ලියකියවිලිවලටත් ගහන්නේ. ඒක දැක්කම සමහරු අහනවා මේ දයා රාජපක්ෂ මහත්තයා ද කියලා. ඒක තමයි මං විඳින ලොකුම සතුට.